Thursday, August 15, 2013

සිංහනාද සහ බලු කෙඳිරිලි Awesome change pattern


වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දයාසිරි පට්ට බුලට් එකකි. එය නිකම් කටකහනවට කියන කතාවක් නොවේ. ජන්මයෙන්,බලයෙන්,ධනයෙන් හෝ බලෙන් දේශපාලනයට නොපැමිණ කෙටි කාලයක් තුල දයාසිරි ලංකාවේ කවලං දේශපාලනයේ හිණිමග බොහොම වේගයෙන් නැග ඉහලට ආ චරිතයකි. ඒත් දයාසිරි කාගත්තේය. නමුත් බොහෝ දෙනෙක් සිතන පරිදි දයාසිරි ගත්තේ කාලෝචිත සහ ප්‍රඥාසම්පන්න තීරණයක් බවය. නමුත් මගේ පුද්ගලික මතයනම් දයාසිරි සිය දේශපාලන ගමන විනාසකර ගත්තේය. දයාසිරි මීට වඩා වෙනස් මෙන්ම දිගු ගමනක් යන්නට සිටි අයෙකි. නමුත් දයාසිරිගේ බල අවශ්‍යතාව ස්වකීය ඉවසීම සහ විඥ්ඥාණය ඉක්මවා ගියහ. 

   දයාසිරි ආණ්ඩුවට ගොස් මහින්දගේ දෑත් ශක්තිමත් කිරීම තුලින් දයාසිරිට ආණ්ඩු පක්ෂයේ යන ලේබලය ගසාගත හැක. එය දයාසිරිට මෙන්ම ඔහුගේ සහචරයන්ටද වටිනා ලේබලයකි. දයාසිරි තනතුරකට පැමිණිවිට දයාසිරිගේ පරම්පරාවට මෙන්ම සහචරයන්ටද බොහෝ දේ ලැබිය හැකි බැවින් දයාසිරිගේ මේ තීරණයට ඔවුන් අත්දෙකම ඔසවා කැමතිවනු නොඅනුමානය. නමුත් සමස්තය දෙස බලා සහ ලංකාවේ දේශපාලනය දෙස තුලනාත්මකව බලන ඕනෑම අයෙක්ට වැටහෙන කාරණයනම් දයාසිරි ස්වකීය අවශ්‍යතා වෙනුවෙන් දේශපාලන අවශ්‍යතාව පාවා දුන් බවය.

     “හැමදාම විපක්ෂයේ සිටිය හැකිද?“ හෝ “රනිල් සිටින තැන සිටිනු නොහැකිය“ යනු තර්කය ඇතමෙක් ගෙනවිත් ඒ හේතුවෙන් දයාසිරිගේ පිල්මාරුව සාධාරණීකරණය කල හැක. නමුත් කණගාටුවෙන් වුවත් කිව යුතු වන්නේ දයාසිරි සිය දේශපාලන ගමන පමණක් නොව මෙරට තුලනාත්මක මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයක් අපේක්ෂා කරන ජනතාවගේ බලාපොරොත්තුද දයාසිරි තුට්ටුවකට මායිම් නොකල බවයි. මෙරට රජය පාළුගෙයි වලං බිඳින රජයක් බවට පත්ව ඇත. එයට වගකිව යුත්තේ රනිල්, දයාසිරි, සජිත් හෝ ජවිපෙ නොවේ, මෙරට සමස්ත ජනතාවමය. ඒ මන්ද රජයේ ඇතැම් ජනතාවිරෝධී මෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාද නොතකා රජය තව තව ශක්තිමත් කිරීමට ඡන්දය දීම මෙන්ම රජයද පිල් මාරුව තුලින් බලය වැඩිකර ගැනීමය. එසේනම් බොහෝ පාර්ශව මහජන මතයට කොකා පෙන්නවා ඇත.


   වෙන  රටක මෙලෙස රජයක් යකා නටයිනම් විපක්ෂය කෙසේ කටයුතු කරනු ඇත්ද. නමුත් ලංකාවේ විපක්ෂයේ කඩා වැටීම යනු ජනතාවටද අහිතකර ලෙස බලපාන යමක් බව තාර්කිකව තේරුම්ගත යුතුය. පාර්ලිමේන්තුව තුල මෙන්ම සමස්ත දේශපාලන ධාරාව තුලද දැඩි තරඟකාරීත්වයක් ඇත්නම් එය රජයකට මෙන්ම විපක්ෂයකටද පිස්සු කෙලීමේ මග අවුරති. පොඩ්ඩක් වැරදුනොත් බලය අහිමිවන නිසා රජය මෙන්ම විපක්ෂයද තමන්ගේ කටයුතු වලදී පරිස්සම් වේ. නමුත් අධික බලයක් සහිත රජයක් සහ දියාරු විපක්ෂයක් හිමිවීම තුල රටේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට සහ තුලනාත්මක දේශපාලන ක්ෂේත්‍රයකට ඇති ඉඩ දැන් නැත. දයාසිරිද එහි කොටස් කරුවෙකි.

   විපක්ෂයෙන් ගොස් ආණ්ඩුවේ පොරවල් වෙන එක ලේසි පහසු නැත. මන්ද දේශපාලනයේ බොහෝ පොරවල් ආණ්ඩුව විසින් බාගෙන මුකවාඩම් දමා, අතපය ගැටගසා ඇත. ඒ තහංචි ලිහිල් කරන්නේ රජයේ ඕනම කුණක් සේදිය යුතු අවස්ථාවලදී පමණි. රතු කමිස විමල් සෆාරි විමල් දක්වා යන විට වූයේද එයමය, මනූෂට, ලක්ෂ්මන් ට, උදිත ලාට වූයේද ඒකමය. විපක්ෂයේ පොරවල් ලෙස දිගුකලක් තුල ලංකාවේ දේශපාලනික හදවත් වලට සැබෑ යමක් කරන්නට සිටි ඔවුන්ට අද සිදුව ඇත්තේ ආණ්ඩුවේ රෙදි අපුල්ලා දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටීම පමණි. එය ඔවුන්ගේ අනාගතයට පමණක් නොව රටේ අනාගතයටද ගැටළුවකි. එසේනම් සිංහනාද බලාපොරොත්තුවෙන් යන ගමනකදී ඔවුන්ට අන්තිමට සිදුවන්නේ බලු කෙඳිරියක් සිදුකර ලිප්බොක්කේ නිදාගැනීම පමණක් විය හැක.

6 comments:

  1. දයාසිරිගේ ගමනක අවසානය.. පෝස්ට් එක තියෙන ඒරියා එක නීට් තියන්න. කියවන්න අපහසුයි. දිගටම ලියන්න. සුභ පැතුම්. මම සින්ඩියට දාන්නම්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මාතලන් සහෝදරයා..දයාසිරි නිකං මාතෘකාවක් වුනා පමණයි

      Delete
  2. ඔව් පෝස්ට් එකේ අකුරු ටිකක්ලොකු ලො , තද පාට උනානං හොදා තමයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..එය සිදුකලා ලක්මාල්

      Delete
  3. ඔබට තවදුරටත් ලියන්න කියවන්න ඇහුම්කන්දෙන්න ධෛර්‍යය ශක්තිය ලැබේවා.නමට පමනක් නොව ක්‍රියාකාරී පොදු විපක්ෂයක් අවශ්‍යතාවය දැඩිව දැනේ

    ReplyDelete
    Replies
    1. බොහොම තුති..දිරි වදන් ටිකට

      Delete